නිවේදනයයි

2026 ජූලි 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාව වෙත යාමට බලාපොරොත්තු වන සියලුම සුදුසුකම් ලත් සංචාරකයින් ශ්‍රී ලංකාව වෙත යාමට පෙර විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබා ගත යුතුය.

ජපානය ඇතුළු සුදුසුකම් ලත් රටවල් 40 ක ජාතිකයින්ට දින 30 ක විද්‍යුත් සංචාරක අවසරපත (ETA) නොමිලේ ලබා ගත හැකි අතර, රටට පැමිණීමට පෙර ETA මාර්ගගත අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ. 

නිල ETA පද්ධතිය වෙත පිවිසීමට පහත දිගුව භාවිතා කරන්න.

https://eta.gov.lk/slvisa/

1 / 2

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය, ජපානය

இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் தூதரகம், ஜப்பான்

Embassy of the Democratic Socialist Republic of Sri Lanka, Japan

Embassy Flag

මාධ්‍ය නිවේදනය

මාධ්‍ය නිවේදනය

සෞදි අරාබි රාජධානියේදී අනෝජන් සිවරාසා මහතාට එරෙහි නඩු කටයුතු නිල වශයෙන් අවසන් කිරීමට ගත් තීරණය ශ්‍රී ලංකා රජයේ පැසසුමට

ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන අනෝජන් සිවරාසා මහතා සම්බන්ධයෙන් පවතින නඩුවේ ඉදිරි නීතිමය කටයුතු තවදුරටත් පවත්වාගෙන නොයාමට සහ එම නඩුව නිල වශයෙන් අවසන් කිරීමට සෞදි අරාබි රාජධානියේ රජයේ අභිචෝදක අධිකාරිය විසින් ගනු ලැබූ තීරණය පිළිබඳව ශ්‍රී ලංකා රජය සිය ප්‍රසාදය පළ කරයි.

මෙම සාධනීය ප්‍රගතිය අත්කර ගැනීමට හැකි වූයේ, සිවරාසා මහතාට මීට පෙර පනවා තිබූ මරණ දඬුවම අවලංගු කර, වැඩිදුර නඩු කටයුතු සඳහා එම නඩුව අල්-අහ්සා අපරාධ අධිකරණය වෙත යළි යොමු කිරීමට සෞදි අරාබි රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2026 ඔක්තෝබර් 13 වැනි දින ලබා දුන් තීන්දුවෙන් අනතුරුවය. 2026 ඔක්තෝබර් 27 වැනි දින පැවති නඩු විභාගයේදී, අදාළ නීතිමය ක්‍රියාපටිපාටිවලට අනුකූලව වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා අධිකරණය විසින් එම නඩුව රජයේ අභිචෝදක අධිකාරිය වෙත යොමු කරන ලදී. ඉන් අනතුරුව සිදු කරන ලද විමර්ශන ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු, නඩුවට අදාළ ඉදිරි නීතිමය කටයුතු තවදුරටත් පවත්වාගෙන නොයාමට සහ එම නඩුව නිල වශයෙන් අවසන් කිරීමට රජයේ අභිචෝදක අධිකාරිය තීරණය කර ඇත.

ඒ අනුව, සිවරාසා මහතාට මීට පෙර පනවා තිබූ සියලු දඬුවම් අවලංගු කර ඇති අතර, ඒවා තවදුරටත් බලාත්මක නොවේ.

අද දින (2026 නොවැම්බර් 11), විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතා අමාත්‍යාංශයේදී සිවරාසා මහතාගේ පවුලේ සාමාජිකයන් හමු වී, නඩුව නිල වශයෙන් අවසන් කිරීම සහ සිවරාසා මහතා ශ්‍රී ලංකාවට නැවත පැමිණීම සඳහා පහසුකම් සැලසීමට මේ වන විට සිදු කෙරෙමින් පවතින කටයුතු ඇතුළු නවතම ප්‍රගතිය පිළිබඳව ඔවුන් දැනුවත් කළේය.

මෙම ක්‍රියාවලිය පුරා ලබා දුන් සහයෝගීතාව සහ ඵලදායී මැදිහත්වීම මෙන්ම, සෞදි අරාබි රාජධානියේ ස්ථාපිත නීතිමය හා ආයතනික ක්‍රියාපටිපාටි ඔස්සේ අත්කර ගන්නා ලද සාධනීය ප්‍රතිඵලය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සෞදි අරාබි රාජධානියේ රජයට සහ අදාළ සෞදි බලධාරීන්ට සිය අවංක කෘතඥතාව පළ කරයි.

සෞදි අරාබි නීති විශේෂඥයන් සමඟ සම්බන්ධීකරණයෙන් නීතිමය සහාය ලබා දීම සඳහා රියාද් නුවරට ගොස් කටයුතු කළ ශ්‍රී ලාංකික නීති විශේෂඥයන්ගේ සාමූහික ප්‍රයත්නය මෙන්ම, මෙම අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් අඛණ්ඩව සිදු කරන ලද රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම ද ශ්‍රී ලංකා රජය ඇගයීමට ලක් කරයි. මෙම සියලු ප්‍රයත්න සෞදි අරාබි රාජධානියේ ස්වෛරීභාවය, නීතිමය රාමුව සහ අධිකරණ ක්‍රියාපටිපාටි කෙරෙහි නිසි සැලකිල්ලක් දක්වමින් සහ පූර්ණ ගෞරවය පළ කරමින්, අදාළ සෞදි බලධාරීන් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව ක්‍රියාත්මක කරන ලදී.

සිවරාසා මහතා කඩිනමින් ශ්‍රී ලංකාවට නැවත පැමිණීම සඳහා අවශ්‍ය නීතිමය හා පරිපාලනමය කටයුතු සම්පූර්ණ කිරීම තහවුරු කර ගැනීම සඳහා, අමාත්‍යාංශය රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා අදාළ සෞදි බලධාරීන් සමඟ අඛණ්ඩව සමීප සම්බන්ධීකරණයෙන් කටයුතු කරමින් සිටී.

විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සුබසාධනය, අභිමානය සහ යහපත සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකා රජය දැඩි ලෙස කැපවී සිටින අතර, විදේශයන්හි පිහිටි සිය රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල හරහා ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලබා දිය හැකි සියලු රාජ්‍යතාන්ත්‍රික, නීතිමය සහ කොන්සියුලර් සහාය අඛණ්ඩව ලබා දීමට කටයුතු කරනු ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ 01

2026 නොවැම්බර් 11 වැනි දින