ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය අතිගරු යසුඕ ෆුකුද මහතාගේ අභාවය පිළිබඳ ශෝක පණිවිඩය
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය අතිගරු යසුඕ ෆුකුද මහතාගේ අභාවය සම්බන්ධයෙන් සිය බලවත් ශෝකය ප්‍රකාශ කර සිටී.
ජපාන රජයට සහ ජනතාවට මෙන්ම, වියෝ දුකෙන් පසුවන එතුමාගේ පවුලේ සාමාජිකයන් වෙත ද තානාපති කාර්යාලය සිය හෘදයාංගම ශෝකය පිරිනමයි.
හිටපු අග්‍රාමාත්‍ය ෆුකුඩා මහතා, ජපානය වෙනුවෙන් ඉටු කළ විශිෂ්ට සේවය, ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ලබා දුන් දායකත්වය සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ජපානයේ සබඳතා ශක්තිමත් කිරීමට ගත් උත්සාහයන් හේතුවෙන් සැමවිටම සිහිපත් කරනු ලැබේ.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම වෙනුවෙන් එතුමා දැක්වූ දිගුකාලීන කැපවීම ශ්‍රී ලංකාව විශේෂයෙන් අගය කරයි. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ රාජ්‍ය අවමංගල්‍යයට සහභාගී වීම සඳහා 1996 වසරේදී ජපාන විශේෂ නියෝජිතයෙකු ලෙස ද, හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රාජ්‍ය අවමංගල්‍යයට සහභාගී වීම සඳහා 2000 වසරේදී විශේෂ තානාපතිවරයෙකු ලෙස ද, ඉන්පසු 2009 වසරේදී අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස ද එතුමා ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා එතුමා තුළ තිබූ නොසැලෙන කැපවීම තවදුරටත් තහවුරු කරමින්, 2006 වසරේ සිට එතුමා 'ජපාන-ශ්‍රී ලංකා සංගමයේ' සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.
ශ්‍රී ලංකා සහ ජපාන ජනතාව අතර මිත්‍රත්වයේ සහ අවබෝධයේ බැඳීම් තවදුරටත් ගැඹුරු කිරීම සඳහා එතුමා ලබා දුන් අගනා දායකත්වය, ඉමහත් කෘතවේදීත්වයෙන් සහ ගෞරවයෙන් යුතුව සිහිපත් කරනු ලබනු ඇත.
ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ද එතුමාගේ අභාවය පිළිබද සිය ශෝකය ප්‍රකාශයට පත් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.
