ශ්‍රී ලංකා මානව සම්පත් ප්‍රවර්ධන වැඩසටහන – ජපානය 2026 ටෝකියෝ, සයිතමා, නගෝයා, ඔසාකා සහ චිබා යන නගරවල අතිසාර්ථක ලෙස නිම කිරීමට හැකි වූ බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සතුටින් දැනුම් දෙයි.
ජපානයේ මානව සම්පත් අවශ්‍යතා සපුරාලීම සඳහා විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමත්, ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ විභවය ජපන් ව්‍යාපාරික ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීමත් සඳහා මෙම වැඩසටහන විශිෂ්ට වේදිකාවක් විය. මෙම වැඩසටහන සඳහා ජපන් ව්‍යාපාරික ප්‍රජාවෙන් ලැබුණු අතිවිශාල ප්‍රතිචාරය ඉතා දිරිගන්වන සුළු වූ අතර, සෑම ස්ථානයකම සම්මන්ත්‍රණ ශාලා පිරී ඉතිරී ගියේය. එමගින් ශ්‍රී ලාංකිකයින් සඳහා රැකියා අවස්ථා ලබාදීමට ජපන් සමාගම් දක්වන දැඩි උනන්දුව පැහැදිලිව පිළිබිඹු විය.
මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලාංකික රැකියා නියෝජිතායතන 23ක් සහභාගී වූ අතර, ඔවුන්ට ජපානයේ රැකියා ලබාදෙන සමාගම් 250කට අධික සංඛ්‍යාවක් සමඟ B2B ව්‍යාපාරික ජාලකරණ (Business-to-Business Networking) සැසි පැවැත්වීමට අවස්ථාව හිමි විය. එම සැසි තුළින් ශ්‍රී ලංකාවෙන් ජපානයට ශ්‍රමිකයන් බඳවා ගැනීම සම්බන්ධයෙන් සෘජු සාකච්ඡා පැවැත්වීමට සහ අනාගත සහයෝගිතා සඳහා සබඳතා ගොඩනඟා ගැනීමට ද හැකි විය.
මෙම වැඩසටහන අතිසාර්ථක ලෙස සංවිධානය කර අවසන් කිරීමට සහයෝගය ලබාදුන් සියලුම ජපන් සමාගම්, ශ්‍රී ලාංකික රැකියා නියෝජිතායතන, හවුල්කාර ආයතන සහ විවිධ අයුරින් සහයෝගය ලබාදුන් සියලු දෙනා වෙත ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අවංක ස්තුතිය පළ කර සිටිමු.
